ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...

දුක්‌බරව කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා...
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...



<Kasun Kalhara>



මේ සින්දුව ගැන දිලීප අබේසේකර, ඒ කියන්නෙ මේකෙ පද රචකය අපූරු පැහැදිලි කිරීමක් කරල තිබුනා දිවයින පත්තරේ කුරු‍ටු ගැ ගී පොත කියන ලිපියට,  මම හිතන්නේ මෙතනට ඒක දැමීම වරදක් නොවේවි කියල, මොකද ඒ ලිපිය කියවන්නෙ නැතිව මේ සින්දුව අහල වැඩක් නැහැ.

මෙතන ඉදන් තියෙන්නේ ඒ article එක

ආදරය.........බොහෝ විට කෙළවර වෙන්නේ විවාහයෙන්... ඒ එදා........ ඒත් අද.... අද ආදරය කරන්නේ විවාහ වෙන්නමද.......අද අපේ සමාජ සංස්‌කෘතියත් ගොඩාක්‌ දුරට බටහිර පන්නයට නැඹුරුවෙලා. ආදරය කියන්නේත් මේ සමාජ සංස්‌කෘතියේම කොටසක්‌නේ.....ඒ නිසා සමාජ සංස්‌කෘතියත් සමගම ආදරයන් බටහිර ක්‍රමයට නතුවෙලා. ඒ නිසා තමයි ආදරයේ කෙළවර විවාහය නොවන බවට බොහෝ තරුණ තරුණියන් හිතන්නේ. අද ආදරයට ඉලක්‌කයක්‌ අරමුණක්‌ නැහැ. ගමනක්‌ තියෙනවා. ඒත් යන්න තැනක්‌ නැහැ......ඒ වගේ තමයි ආදරයත්......ආදරයත් තියෙනවා.......ඒත් ඊට අරමුණක්‌ හේතුවක්‌, ඉමක්‌ කොනක්‌ නැහැ.......

අද අපි කතා කරන ගීයේ අරුතත් එවැන්නක්‌............කසුන් කල්හාරගේ ගැඹුරු හඬින් ඉතා සංයමයෙන් වගේම හැඟුම්බරව ගැයෙන මේ ගීය විරහව විඳින කාටත් පොදු වූවක්‌.

ඇරඹුමම කඳුළක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...

මේ පෙම්වතා ගේ ආදරය පටන් ගන්නේම කඳුළකින්. ඒ කියන්නේ පටන් ගනිද්දීම ඒ ආදරයේ අවුලක්‌ තියෙනවා....... ඉවරයක්‌ දකින්නෙ නැහැ.......... ආදරයේ කෙළවරට කලින්ම ඈ ඔහු දමා යනවා.

අපේ ප්‍රවීණතම ගීත රචකයා කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා දිලීප අබේසේකර මේ ගීය ගැන කියන්නේ මෙවන් අදහසක්‌.

මේ සිංදුවට මහා විශාල නිමිත්තක්‌ නැහැ. වර්තමාන ප්‍රේමයේ තත්ත්වය ගැනයි කියන්නේ. අද ආදරය කරන්නේ ඉවරයක්‌ දකින්න නොවෙයි. අද අපි අත්දකින්නේ ඉලක්‌කයක්‌ නැති ප්‍රේමයක්‌ විවාහයෙන් කෙළවර වන ආදරයත් නොවේ.

දිලීප මේ ගීයේ සිදුවූ වෙනසක්‌ ගැනත්, සිහිපත් කළා. මම මුළින්ම ලියුවේ "ආ දුරත් දුර නැති නිසා කියලා. ඒත් කසුන්ට දෙවැනිවර ගීය රෙකෝඩ් කරද්දී ආ දුරත් දුර වැඩි නිසා කියලා වැරදිලා කියෑවුණා. දැන් හිතෙනවා ඒ වැරැද්ද........හරි කියලා.......

දුක්‌බරව කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

සාමාන්‍යයෙන් කවියක්‌ නම් පද හතරක්‌ තිබිය යුතුයි කියා පිළිගැනීමක්‌ තියෙනවා. ඒක සම්මතයක්‌ම නොවේ. පද හතරක්‌ නැතිනම් කවියක්‌ සම්පූර්ණ වන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. අවසාන පදය නොතිබුණොත් ඒ කවිය අප්‍රබංසයක්‌.

දිලීප පවසන ආකාරයට මේ පෙම්වතාට ඔහුගේ පෙම්වතිය අප්‍රබංසයක්‌ ලියා දීලා. ඒක දුක්‌බර කවියක්‌ ඒත් පදපෙළේ අඩුවක්‌ තියෙනවා. හරියට තේරවිල්ලක්‌ වගේ අර්ථය තියෙන්නේ අන්තිම පදයේ. ඒත් ඈ ඒ පදය ලියා නැහැ. අවසාන පදය තෝරාගන්න කියා ඇය ඔහුගෙන් ඈත්ව ගිහින්. ඔහුට මෙය ප්‍රහේළිකාවක්‌ ඔන්න ඔය ආකාරයට තමයි අද පෙම්වතුන් ආදරය කරන්නේ යම්කිසි දුරකට එනවා ඒත් ඒ ඇවිත් අතරමැද නතර වෙනවා.

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා....

මේ විදිහට ගියොත් අවසානය ශෝකාන්තයක්‌ වන බව ඇය දන්නවා. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය වෙතට ගමන් කරන්නේ ඇයි....එසේ සිතන පෙම්වතිය ඔහුව අවසානයක්‌ නොදකින තැනක දමා පිටව යනවා.

අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

අද තියෙන්නේ මේ වගේ ඕපපාතිකව පටන් අරන් නිමාවක්‌ නොදකින ආදරයක්‌. ඒක තමයි මට මේ ගීයට නිමිත්ත වුණේ....... දිලීප ගීයේ නිමිත්ත සඳහන් කළා.

මේ ගීයේ තේරුම ගැන සමහරු විවිධ විදියට අර්ථ දක්‌වනවා. කවුදෝ කෙනෙක්‌ දවසක්‌ කසුන්ගෙන් ඇහුවාලු ඔයා ඔය ගායනා කරන්නේ ඔයාගේ අම්මා ගැනද කියලා. කසුන්ට මේකට තරමක්‌ කේන්ති ගිහිං. කීප දෙනෙක්‌ම මගෙනුත් ඇහුවා. ඔයා ඔය යම්කිසි කතාවක්‌ ගැන ලියපු ගීයක්‌ද කියලා.

නාලකගෙයි කසුන්ගෙයි දායකත්වය නිසා මේ ගීය ගැඹුරටම ගෙන ගියා. ගීයේ හැම විදියකින්ම අර්ථවත් වන්නේ අරමුණක්‌ නැති ස්‌වභාවයක්‌ ගැනයි. මේ දෙදෙනාගෙන් පළමුව යන්නේ පෙම්වතිය.

දිලීප එහෙම කියන්නේ මේ ගීය පිරිමි හඬකින් ගැයෙන නිසා ඒත් මේ ගියේ පද මාලාවේ ඈ යන්න වෙනස්‌ කර ඊට ඔහු කියා දමා කාන්තා හඬකින් ගැයුවොත්.....

මෙහි අරුත දෙපැත්තටම ගත හැකියි. ඒ මේ අත්දැකීම දෙපාර්ශවයටම පොදු නිසා.

මම මේ ගීතය හැදුවේ අවුරුදු හතරකට පහකට විතර කලින්. ගුවන් විදුලියේ අලුත් ගීත හදන වැඩසටහනකට. එහි මූලිකත්වය අරන් කටයුතු කළේ ඒරානන්ද හෙට්‌ටියාරච්චි තවමත් අලුත් ගීත හැදෙන්නේ ගුවන් විදුලියෙන්. ඒක වැදගත්. මේ ගීය තෝරා ගනිද්දී මමවත්, නාලකවත්. කසුන්වත් එකට හමුවුණේ නැහැ. අපි තුන්දෙනා එකතුවෙලා හදපු ගීතයක්‌ නොවේ. මේ ගීයට ඉඩකඩ හැදුවේ ගුවන් විදුලියයි.

අජිත් අලහකෝන්

Leave a Reply