ඔබත් තනි වෙලා
මා තනි වෙලා
මීවිත පිරිලා
ගී හඬ මැකිලා
පාලු අඳුරු ලොව
මා... තනි වෙලා
තනි වෙලා

එදා ලඟ සිටි රූ ළඳුන්
දෙතොල් රස පිරු මත් බඳුන්
නොමැත මගෙ තනි රකින්නට අද
පාලුවේ මා තනි වෙලා..
ඔබ වගේමයි තාරුකාවේ
මාත් අද මෙහි තනි වෙලා..

සැබැ නොමවූ සිහිනෙකින්
අන්ධ වී ගිය මගෙ නුවන්
නැවත විවරව සොයයි රසඳුන
පාලුවේ මා තනි වෙලා..
ඔබ වගේමයි තාරුකාවේ
මාත් අද මෙහි තනි වෙලා..




<Gunadasa Kapuge>


ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා ‍රැඳුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයි
ඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයි

පුරහඳ දියවෙනවා සේ කළුවරටත් නොකියා
ඔබ යන්න කලා සොළොසම සපුරා
හෙට මළගම දා දියවක වී
හිදින්න සුදු ඇඳලා

තරුවක් බැස යනවා සේ පා සලකුනු නොතියා
ඔබ යන්න පාලු අහසින් බැසලා
හෙට මළහිරුගේ ඉහ ඉද්දර
ඉන්න ඇවිත් පායා..


<Gunadasa Kapuge>


අභිසාරිකාවන්ගේ
උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පල ගැනුනේ..

රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ, උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පල ගැනුනේ..

ආදරය යන වදනේ
මනුලොවේ, මිනිසත් භවයේ
මහිම ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පල ගැනුනේ..



<Gunadasa Kapuge>



ලෙලි තලන
නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝනි
සෙනසුරුට පෙම් බඳින දෝනි

නෙළු රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇටසැකිලි සැතපේ
මනමාලකම් කරන නිවට දුප්පත් කුමරු
බින්න බැහලා වගේ ගෙපැලේ...

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුනේ
තලාපන් දෝනියේ ගිනිමරන කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ....



<Gunadasa Kapuge>


කඩමණ්ඩියේ
දොළ අයිනේ
නුඹව පෙනී
නැවතී බලනවා
මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත්
ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට
බැරුව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම ඔබ මට හිමි නැති හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි

<Nanda Malini>


හන්තාන කඳු වැටිය
එදා වගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලා යාවි හෙටත්
සරසවියෙ තුරු වදුලු
මිලින වී නෑ තවත්
ඒත් අද කුමරියේ..
ඔබ කොහිද..මා කොහිද...

එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඬුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමඟ නිදා සිටි
අවන්හල දෙසුම් හල
පුරුදු සේ බලාගෙන සිටිනවා

මේ බිමේ සැඟව ඇති
සිවුවසක අතීතය
යලි යලිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා
සඟවන්න තැත් කලත්
නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා...



<Amarasiri Peiris>


අඳුරේ
මැදියමේ
නිදිවරා වැපිරූ
සිහිනේ
කඳුලූ
අතුරා
පුළිඟු
සැඟවූ සිහිනේ
මොහොතක්
ගැවසෙන්න
අහම්බෙන්වත්
හමු වී යමුද
වචනයක්
කියනවද
තව එක දවසක්
ගෙවා ගන්න

සිහින අතර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා..
සිහින සොහොන ලඟ ජීවිතේ
නොමළ සිත සමඟ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
මොහොතක්  ගැවසෙන්න
අහම්බෙන්වත් හමු වී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සොඳුරූ ලෝකාන්ත මුදුනතේ
මතක භෂ්මයන් හද දරා
හිඳිමි මම
ඔබද එය දන්නවා...
නොයෙනා රිදුමක බර දරා
අහිමී හුස්මකට ළය අයා
හිඳිමි මම
ඔබද එය දන්නවා
මොහොතක්  ගැවසෙන්න
අහම්බෙන්වත් හමු වී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න


<Kasun Kalhara>

කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ..

සඳකැන් බොඳවුනු වළා කැදැල්ලෙ
තරුකැට අහුරක සිනහා මෝදු කර
කඳුලින් ඉපැදුනු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ..

සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ලහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙණයනට කියන්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ..

<Gunadasa Kapuge>

ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු....
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ......

රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්....

තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්....


හිතුවෙවත් නැති දවසක
හිතන් නැතිවම ළං උනා
අතීතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..

අපි අපිම
අද ආයෙම
හමු උනා
ඒ පාරෙම.
අපි හමු උනා ඒ පාරෙම..

මල් යාය මැලවුනා
මල් දෙවැට හැඩිවුනා
සමනල්ලු ඉහ හැරූනු අත ගියා...
අපි ආයේ නොයෙනා නිසා....

නිල් අහස කළුවුනා
ඉකි ගගහා වැලපුනා
කඳුලින්ම පිරුනු වැව
බොරවුනා..
අපි නිතර ආව ගිය තැන නිසා...


සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව
දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...

සීතල ඇතිරුනි
මිහිලිය ලය මත
කොඳ කෙමි පිපුරුනි
මධු පුරවා
උණුසුම දිසුනේ
නෑ නෙත මානෙක
ඔබ ලඟ නැතිවම
අද මා තනිවම..

පහන් නොදැල්වෙන
ඔබෙ පැල්පත තුල
නිදිමත
අඩ නෙතුපිය සනහා
මගේම කඳුලක් වී
පිණිබිඳු ලෙස
ඔබෙ කවුළුව ලඟ
පිපි මල් පෙති මත..


අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ..
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියොවක් නෑ..

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ..
හිනහ වෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ..

සොබහ දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ..
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ..


එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස
ඇගෙන් මා..
මගෙන් ඈ සමුගන්න..

සැඳැ තරු නොනිමෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොල මිදී..
මිදී නැවතී ඉන්න..


ලිය මඬුලු තුරු සිරස
එපා මල් පලඳින්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොළුවන්න
සොබාදම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න...

උන්මාද සිතුවම්
මැවේ බිඳේ
මීදුම් වලා මැද
අතීතයේ...
බිඳුනු පෙමින්
ගිනිගත් හදවත්
තනි වේවි
එක්ටැම් ගේ...
අනන්ත සයුරේ
බියකරු දිවි දියඹේ
පාලු හුදකලා
සුලඟ පමනි උරුමේ
හඬා වැටෙන සිත
සදා සරණ මත
තනි වේවි එක්ටැම් ගේ...
දහසක් මල් මැද
එකම මලයි පැතුවේ
ඒමල කිමද
සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට
මලේ සුවඳ පොද
තනි වේවි
එක්ටැම් ගේ...

මේ සඳ වුනත්..
පායා ඇවිත්
ඉස්සර වගෙ එලිය දුන්නා වුනත්...
මේ හුලඟ මත්
ආයෙත් ඇවිත්
නුබ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත්...

පෙර හැමදේම නුබ නැතුව ලැබුනා වුනත්....
මේ හෙට රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත්...
හෙට එන රෑට
නුබ නැතුව කෙලෙසක මම පවසම් දෝ.....
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ......
ආයේ නම් රෑය අවසන් වේ......


ආයේ හිරු නෑ
හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ..

ආයේ නුඹ නෑ..
දුක් කඳුලුත් නෑ..
රැය ආවත් මම නෑ..

මේ ගෙවෙන්නේ...
අවසන් රැයම වේ...
ආයේ නම් රැය
අවසන් වේ...


පුරුද්දක්ද 
සසරේ හුරු වූ
පරද්දන්න 
බැරි සේ දිනපූ
අනන්ත වූ 
ප්‍රේමයකින් බැඳුනේ
හරස් වෙන්න හැදුවත් කවුරූ
වරද්දන්න හැදුවත් කවුරූ
වෙනස් නොවූ පවුරයි 
නුඹ ලඳුනේ...

අඳුර පිරුනම
දෑස වැසුනම
තනිය දැනුන නිසා
කඳුලු පිරිනම
හිතේ හැම තැන 
ඔබෙන් පිරුන නිසා

අඳුරේ 
දුක සේ
රහසේ 
ගෙතුනූ
නොලියූ
කවියේ
මතු වූ
ලඳුනේ

සිහින පෙනුනම 
සැපයි හැමදා 
සැබෑ කරන නිසා
සුසුම් හෙලුවම
හිතේ හැම කොන
ඔබෙන් පිරුනු නිසා

සිහිනේ ඇසුනූ
රහසේ දැකපූ
නො‍රැඟූ
‍රැඟුමේ
හැඟුමයි
ලඳුනේ...



<Yashan, Bathiya & Santhush>


පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ...

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ …

ඉහිරුණ කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උලලේනෝ…

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගියදා
මේ හැම දුක් නැතිවන්නේ
උලලේනෝ…




<Gunadasa Kapuge>

මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම් 

තනිවම වත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලගින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා 

මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා

<Krishantha Erandaka>


මිනිසුන් නැති හිස් තැනක් සොයා
තනි වී ඉන්නට සිත කීවා
පාලුව තනිකම ‍රැදෙන තුරා
තනි වී ඉන්නට සිත කීවා

ගහකොළ මැලවුන හදවත් වියලුන
වැලපෙන මිනිසුන් හමුවූවා
තද හිරු එළියෙන් නිලංකාර වුන
දෑස් තෙමන්නට දිය සෙවූවා

සැනසුන පහනේ එළිය බලන්නට
නැවතත් මා ආපිට ආවා
තෙල් මදි හින්දා පහන නිවුන බව
පෙර මඟ ‍රැඳි සලකුනු කීවා


<Gunadasa Kapuge>