මගෙ පුංචි රෝස මලේ
මමයි නුඹෙ වියපත් බඹරා
නුඹ හීනෙන්වත්
නොදකින කුමරා

කළුවර ‍රැ සඳක් වගෙ
අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය නුඹට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න..

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවනම්
ආසයි මම කවුළුපියන් ඇරල තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න

<Amarasiri Peiris>













මේ තියෙන්නෙ දිවයින පත්තරේ තිබුන ලිපියක් මේ සින්දුව ගැන.., අහලනම් නෙමේ ගත්තේ ලාබ ලැබීම සඳහා නොකරන බැවින් වරදක් වෙන එකක්  නෑ මම හිතන්නෙ...

 
පද මාලාව - ධම්මික බණ්‌ඩාර
ගායනය - අමරසිරි පීරිස්‌
ගී තනු - ඩැනිස්‌ටර් පෙරේරා

ආදරේට වයස්‌ භේදයක්‌ නැහැ. තැනක්‌ නොතැනක්‌ නෑ. ආදරේ ඕනෑම තැනක ඇතිවෙන දෙයක්‌. ආදරේ ප්‍රකාශ කරන්න... ආදරේ කරන්න තහංචි, වැටකඩුළු ඇත්තෙත් නෑ. ඒත් අපේ සමාජ සංස්‌කෘතික වටාපිටාව අනුව අපිට සමහර අවස්‌ථාවල ආදරේ ප්‍රකාශ කරන්න බැරි වෙනවා. සීමා මායිම්, සම්මාන සංස්‌කෘතික රාමු තුළ අපේ හිතේ තියෙන ආදරය තවත් කෙනෙකුට කියාගන්න බැහැ. එලෙස ප්‍රකාශ කරන ගන්න බැරි ආදරයකට වෛර කරන්නත් අපට බැහැ.

අපට වඩා වයසින් අඩු කෙනකු කෙරෙහි අප සිත තුළ ආදර හැඟීමක්‌ ඉපදෙන්න පුළුවන්. ඒත් අප සිටිනා තත්ත්වය අනුව අපට ඒ ආදරේ ප්‍රකාශ කරන්න බැහැ. ඇය වයසින් අඩු නිසා අපට ඇයගේ ලෝකයට යන්නත් බැහැ. එවිට ඒ ආදරේ නිහඬවම ඉවසා දරාගෙන ඉන්නවා හැරෙන්නට වෙන කළ හැක්‌කක්‌ නැහැ.

මේ ගීයත් එවැනි අදහසක්‌ ගෙන දෙන නිර්මාණයක්‌. සැබෑ අත්දැකීමක්‌. අපේ ගීත ක්‌ෂේත්‍රයේ සිටි වැඩිහිටි ගායකයකු මුහුණ දුන් අත්දැකීමක්‌ ධම්මික බණ්‌ඩාර අපූරුවට පද පෙළකට අමුණා තිබෙනවා. මේ වැඩිහිටි ගායකයා කවුද කියා නොකියා අපි මේ ගියේ නිමිත්ත ඔබට කියන්නම්. ධම්මික කී ඒ කතාවයි මේ.

අපේ මේ ගායකයා කලුතර පැත්තේ සංගීත පංතියක්‌ පැවැත්වූවා. මේ පංතියට ඔහුගෙන් වයලීනය ඉගෙන ගන්න වයසින් අඩු කෙල්ලක්‌ ආවා. ඔහුට ඇය ගැන පුදුමාකාර ආදරයක්‌ ඇති වුණේ. මේ පොඩි කෙල්ල පංතියට එන්නේ නැති දවසට ඔහුට පංතිය කරන්න හිතෙන්නෙත් නැහැ. ඇය එයිදෝ කියා ජනෙල් කවුළුවලින් බලා ඉන්නවා. ඔහු මේ කෙල්ලට උදව් කරනවා. ඒත් වචනයකින්වත් නොගැලපෙන දෙයක්‌ කියන්නේ නැහැ.

දවසක්‌ මම ගියා මේ ජ්‍යෙෂ්ඨ ගායකයා ලවා තනුවක්‌ හදාගන්න. ඔහු ඊට කලින් ඔහුගේ හිතේ අර දැරිවිය ගැන ඇතිවූ හැඟීම මට කියලා තිබුණේ. එදා මම යද්දී ඔහු ගෙදර හිටියේ නෑ. රෙස්‌ටුරන්ට්‌ එකක හොඳටම බොනවා. මම ඔහු ළඟට ගියා. මාව දැකලා ඔහු අඬන්න පටන් ගත්තා. "අර කෙල්ල කසාද බඳිනවා. බුලත් අතක්‌ දීලා මට වැඳලා ගියා. ඔහු අඬමින් මට කිව්වා. ඔහුට ඒ දුක දරාගන්න බැහැ. පෙම්වතිය වියෝවුණු පෙම්වතෙක්‌ වගේ ඔහු ඇඬුවා. ඔන්න ඔය සිද්ධිය තමයි මගේ අතින් පද පෙළකට ගෙතුණේ.

අප අතර සිටින වැඩිහිටියන් බොහෝ දෙනෙක්‌ ඔය ගායකයා වගේ ආදරය කරනවා. ඒත් සමාජ සම්මතයන් නිසා ඒවා හෙළි කරන්නේ නෑ. නමුත් ධම්මික අපූරු පද පෙළකින් එය හෙළිකරනවා.

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

ධම්මික කියන ආකාරයට මේ බඹරා වියපත්. වියපත් වුණත් බඹරෙක්‌ නේ. හැඟීම් වියපත් නැහැ. ඒත් ඇයගේ හීනවල මේ බඹරා නැහැ. ඒ හීනවල ඉන්නේ වෙනත් කුමරෙක්‌. මොහු වයසින් වයෝවෘද්ධයි. ඒත් හැඟීම් තරුණයි. සමහර විට තරුණයකුගේ හැඟීම්වලට වඩා ඒ හැඟීම් තරුණයි.

කළුවර රෑ හඳක්‌ වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක්‌ නෑ නුඹ බැස යන්න...

ජීවිතේ කළුවරයි. තමන්ට උවමනා කරන විදිහට ආදරේ ලැබිලා නැහැ. ආසයි මං නොකී කවිය... ඒ කියන්නේ කවදාටත් කොතැනකටත් හෙළි නොකළ ආදරය ඇයට කියන්න ආසයි. හඳක්‌ වගේ බැහැලා ගියත්, ආදරය අප්‍රකාශිත නිසා තරහ වෙන්නත් බැහැ. ආදරේ තේරුම් නොගත්තාට ඒකට කවුරුවත් වගකියන්න ඕනෑ නැහැ. ඒ නිසා වෛර කරන්නත් බැහැ.

මගේ පුංචි නවාතැනේ...
ඇවිදින් සැරි සරනව නම්
ආසයි මං කවුළු පියන්
ඇරල තියන්න...
තරහක්‌ නෑ... නෑවිත් ඉන්න...

මේ වයෝවෘද්ධ පෙම්වතා කුවේරයෙක්‌ නොවේ. ඉන්නේ පුංචි නවාතැනක. ඇය එනවා නම්... ඔහු කැමැතියි. ඒ බව හැම දෙනාටම කියන්න. ඒත් ඉතිං ඒක කිසිදාක සිදු වන්නේ නැහැ. සිදු නොවුණා කියලා තරහකුත් හිතේ නැහැ.

මේ ගීය තනිකරම ඔහුගේ සිතේ තිබෙන කල්පිතයක්‌. සංස්‌කෘතිය තුළ සිරවුණු පෙම්වතෙක්‌ බවයි ධම්මික පවසන්නේ. මේ ගීයට අමරසිරි පීරිස්‌ගේ හඬත් ඉතා කදිමට ගැලපෙනවා. ඩැනිස්‌ටර් පෙරේරාගේ සංගීතයත් එහෙමයි. වැඩිහිටි තරුණ කවුරුත් ප්‍රියකරන ගීයක්‌. ඒකට හේතුව මේ ගීය අසන තරුණයින් පවා හෙට දිනයේ වැඩිහිටියන් වෙන නිසා.
අජිත් අලහකෝන්

Leave a Reply