
රෝස පෙත්තෙ
ලියු පෙම් පතක්
නුරා උයන කැළඹු ඇරයුමක්
නොසිතු නොපැතූ
මේ තරම් මත්පසක්
පොරොන්දුවක්
වරෙන්තුවක් සහිත ඡේදයක්
ආදරයේ දේවතාවියේ
සිහින සැබව මැවූව ජීවිතේ
අමෘතේ බදු වූ මධු ගා අමුතූ
ඔබ මැවුව ලොවම
පෙම් රසෝගයක්
ආදරයේ මැවුම් කාරියේ
සියුම් සිනිඳු ලෙසින් ලංවුනේ
ළමදේ තෙරපී
ගොරගා ඇමතූ
ඔබේ හඬද
හැඬෙන සුළු නියෝගයක්
ඔබ මැවූ මැදුර
සුපිරි සිරගෙයක්.
මන්දහාස පිරුණු සුරපුරේ
ගීත තෙපුල් පුරන සාදයේ
සොදුරූ කිඳුරූ
සැනසූ මදිරාවේ
හදේ හැඟුම්
ඔබ හොරෙන් අරන්...
<Indrachapa Liyanage>

පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුනු දින
ලෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ
තනිකඩය තවම මම...
වස්සාන කාලයක
හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි
බොඳ කලා
මල් යාය බඹර ගී හඬතලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා
කප් තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනි කලා
අවරගිර තරු වැටෙන් ගිලිහිලා
සුබ නැකත රන් හුයක පැටලුනා
<Karunarathna Diwulgane>


හිත දුර හන්දා
නෙතු ලග හංගා
සිහින ගණින හින්දා
තනිකම හන්දා
ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මන්දා
ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අරුතෙන් පතනා
අහස වගේ නුඹ සිතුව අතිතේ
මතෙකට නැගෙනා
හැඬවෙන හිත ලග තනියට ඉන්නේ
නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකීනා..
<Athma Liyanage>

මීවිත ඇඳිරිය
හද පොදි බැදි දුක
ඔබේ ලොවට මා
සොදුරු යොවුන්විය
කිම තොල මීවිත
නුරා විරහ ගිනි
සුරා විතින් මා
නැගුනු නුරා ගිනි
හතර අතින් දළුලා එනවා...
අවන්හලේ
වරෙන් මලේ
මම අහල තියෙනව මේ ගීතය ලියවෙන්න ලස්සන කතාවක් තියෙනව කියල. ඒක ඇත්තක්නම් දන්න කෙනෙක් comment එකක් හරි දානවනම් ලොකු දෙයක්.
<Gunadasa Kapuge, Karunarathna Diwulgane>

සඳ දිය දෙවුන සේ
සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද
මගෙ හිත ගාව
දෑ කුල සිරිත්
සිටි සද මග අවුරාන
හමුවී වැලපෙමුද
මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම්
අහසට නැග රහසේම
දිලිසෙන්නේද
පුර පස දිලි සඳ ගාව
එ හද ඇයිද
දියවක දී මුළු රෑම
දියවී ගිහින් රැඳුනේ
තරු ඇස ගාව
ළය මත පිපුණු
උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද
ගැරහුම් රළ ගාව
කඩ ඉම ළඟ ඉඳන්වත්
නුඹ හැමදාම
මට අත වනපන්
නලියන නළ සේම
<Malani Bulathsinghala, Asanka Priyamantha>

වසන්තේ නිදා උන්
යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත
හේමන්තයේ දී
වසන්තේ ළපල්ලෙන්
වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන්
හේමන්තයේ දී
විලාපෙන් විඩා වී
රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන්
වැටී මංමුලාවේ
වළාවක් ලෙසින් මා
ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ
හේමන්ත කාලේ
සුසුම් ලා දිවා රෑ
වෙළී හුදෙකලාවේ
එපා වී සියල්ලන්
පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ
සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ
හේමන්ත කාලේ
<Nanda Malini>

ඔබම මාද විය
මාද ඔබම විය
සාගර වෙරළක
පිය සටහන් මත
ඔබ මා සමගින්
ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරුරැස්
විහිදුණු මොහොතේ
ඔබම මාද විය
මාද ඔබම විය
පවසා ගන්නට
දහස් වදන් ඇත
පෙන්විය නොහැකි වූ
දහස් දසුන් විය
ඒ සැම මැද්දේ
සිත කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඟ
ඔබමය මා සිත
ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද
ඔබ තුළ හිමියනි
ඔබෙන් රකින්නට
රහස් කිසිත් නැත
එවන් කලෙක මා
එපා නොකල මැන
<Malani Bulathsinghala>


